
උතුරු සහ නැගෙනහිර පළාත්වල අවතැන් වූ පුද්ගලයින් සඳහා 2012 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වීමට පසුගිය සඳුදා සිට අවස්ථාව හිමිවිය.
මෙම ලියාපදිංචිය පසුගිය 28 වැනිදායින් අවසන් වීමට තිබූ නමුත් එය ජූලි මස 2 වැනි දින දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය පියවර ගන්නා ලදී.
මේ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ජූලි මස 5 වන දින දක්වා අවස්ථාව ලබා දී තිබු අතර එය මේ වන විට ජූලි මස 9 වැනි දින දක්වා දීර්ඝ කර තිබේ. උතුරේ හෝ නැගෙනහිරින් අවතැන් වූ ඕනෑම පුද්ගලයෙකුට 2012 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වීමට අවස්ථාව හිමිවන අතර ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ නව සංශෝධන වලට අනුව මෙම ලියාපදිංචිය සිදු කෙරෙයි.
කෙසේ වෙතත් මෙම ලියාපදිංචිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලය මෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද පියවර ගෙන තිබුණි.
එහෙත් මැතිවරණ නීරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ මෙම අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ පුද්ගලයින් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය සඳහා ජනතාව දැනුවත් කිරීමේ වගකීම දේශපාලන පක්ෂද සතුවන බවයි.
මේ අතර මේ දක්වාත් 2012 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වීම සඳහා අයදුම්පත් ලබා නොගත් පුද්ගලයින් සිටීනම් ඔවුන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ද මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Post a Comment