
අද(11) පෙරවරු 09.30 සිට වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
ජූලි මස පළමුවැනි දිනට නියමිතව තිබූ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදු නොකිරීමට විරෝධය පළ කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් දියත් කර තිබුණි.
වර්ජනයේ නිරත තම සංගමයේ සාමාජිකයින්ට එල්ල වන බලපෑම් හේතුවෙන් වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව අද දෙරණ සමඟ අදහස් දැක්වූ ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
එසේ වුවද තම ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව ද ඔහු සඳහන් කරන ලදී
මේ අතර වර්ජනය පැවතිය ද බොහෝ ප්‍රදේශවල බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කෙරුණු බව අද දෙරණ වාර්තාකරුවෝ කියා සිටියහ.
එහෙත් හයිලෙවෙල් මාර්ගයේ පමණක් බස් රථ ධාවනය අඩාල වී තිබූ බව වාර්තා වන අතර මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.
කෙසේ වෙතත් වර්ජනය නොතකා ධාවනයේ යෙදුණු බස් රථ කිහිපයකට ප්‍රදේශ කිහිපයකදී ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වෙයි.
බේරුවල ප්‍රදේශයේ දී කොළඹ සිට දෙයියන්දර බලා ධාවනය වූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර වරකාපොළ, තෝලංගමුව ප්‍රදේශයේදී මාතලේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී ඇත.
එම ප්‍රහාරයකදී බස් රථයේ ගමන් ගත් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
Post a Comment