උතුරට පත්කර තිබෙන ආණ්ඩුකාරවරයාත් හිටපු හමුදා ප‍්‍රධානියෙක් බැවින් පාසැලකට පොත් කට්ටකලයක් ලබාදීමට පවා ආසන්න හමුදා කඳවුරෙන් අවසර ගැනීමට සිදුවන තත්ත්වයක් උද්ගතවී ඇති බව හෙතෙම කියයි.
කොළඹදී අද (21) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසූ අතර එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
අද මෙම මාධ්‍ය හමුව කැඳවන්නේ පසුගිය වසර 6ක් තිස්සේ පවත්වනු ලබන සහෝදරත්වයේ දිනය නමින් පවත්වන වැඩසටහන පිළිබඳව මේ රටේ ජනතාව විශේෂයෙන්ම තරුණ ප‍්‍රජාව දැනුවත් කිරීම සඳහා. මෙවර වැඩසටහන පවත්වන්නේ වෙනදාට වඩා සුවිශේෂී වටපිටාවක් තුළ.
අපි මෙම වැඩසටහන පටන් ගත්තේ 2008 වසරේ ජූලි මාසයේ සිට. විශේෂයෙන් යුද්ධය ඉතාම තදින් කි‍්‍රයාත්මක වන මොහොතේ. සිංහල ජාතිවාදයටත්, දෙමළ ජාතිවාදයටත් සහ මුස්ලිම් ජාතිවාදයටත් විරුද්ධව විශේෂයෙන් රට බෙදීමට එරෙහිව, මේ රට අප කාටත් අයිතියි, අප කාගෙත් රට කියන පණිවුඩය මේරටේ තරුණ ප‍්‍රජාව අතට ගෙනයන්න තමයි අපි මෙම වැඩසටහන පටන් ගත්තේ. එය පටු පක්‍ෂ දේශපාලනය මත පදනම්කරගෙන කි‍්‍රයාත්මක කරන්න අපි මැදිහත් වුණේ නැහැ.
මෙවර අපි සහෝදරත්වයේ දිනය වැඩසටහන පවත්වත්දී අපි දකිනවා වෙනදට වඩා සුවිශේෂී කාරණ කිහිපයක්. එකක් තමයි 1983 ජූලි මස 23 වැනිදා ඇතිවෙච්ච කළු ජූලිය. කළු ජූලියට අවුරුදු 30ක් සම්පූර්ණ වෙනවා 2013 අවුරුද්දට. තිස් අවුරුදු යුද්ධය අවසන් වෙලා හතරවෙනි වසර අවසන් වෙලා පස්වෙනි වසර පටන් ගන්නවා මෙම මාසයේ. එවැනි වටපිටාවක තමයි අපි රට පුරා සහෝදරත්වයේ දිනයට අදාළ වැඩසටහන් පවත්වන්නේ.
දෙවැනි කාරණය තමයි ඉතාම කනගාටුදායක වුණත් පසුගිය මාස කිහිපයක් තිස්සේ අපේ රටතුළ අලූත් ජාතිවාදී ප‍්‍රවණතාවයන්ගේ වර්ධනයක් දකින්න ලැබීම. විශේෂයෙන්ම ආගම්වාදී ප‍්‍රවණතාවයන්ගේ වර්ධනයක් සිදුවෙමින් පවතින වටපිටාවක තමයි අපි මෙම වැඩසටහන පවත්වන්නේ. අනෙක් කාරණය තමයි උතුරු පළාත්සභා මැතිවරණයත් සමඟ රට තුළ මේ ප‍්‍රශ්නය පිළිබඳව අලූත් සාකච්ඡාව පවතින වටපිටාවක මෙම වැඩසටහන පැවැත්වීම.
සහෝදරත්වයේ දිනය තුළින් අපි කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වුණේ ජාතිවාදී ප‍්‍රවණතාවයන්ට විරුද්ධව කටයුතු කිරීම. විශේෂයෙන්ම සහෝදරත්වයේ දිනයට හෝ මාසයට සීමා නොවී පසුගිය මාස කිහිපය තිස්සේ කි‍්‍රයාත්මක වූණා.
විශේෂයෙන් ආණ්ඩුවේ අනුග‍්‍රහය ලබන ආණ්ඩුවේ ආරක්‍ෂක අංශවල පවා යම් අනුග‍්‍රහයක් ලබමින් පවා කි‍්‍රයාත්මක වුණු ආගම්වාදී ප‍්‍රවණතාවයන් උච්ඡතම තැනට උත්සන්න වුණු මොහොතේදී සමාජවාදී තරුණ සංගමය විදියට සැලකිය යුතු මැදිහත් වීමක් සිදුකරමින් එම ජාතිවාදී ප‍්‍රවණතාවයට තරුණ ප‍්‍රජාව ගොදුරු වීම වැළැක්වීම සඳහා කි‍්‍රයාත්මක වුණා. අලූත් කලූ ජූලියක් ඇතිවීම වැළැක්වීම වෙනුවෙන් අපි අපේ ශක්ති ප‍්‍රමාණයෙන් මැදිහත් වුණා.
අද අපි දකින්නේ විශේෂයෙන් අපේ රටේ ජාතිවාදය පරද්දන්නත් ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙනුත් රට බෙදීම වැළැක්වීම වෙනුවෙනුත් කරන්න පුළුවන් හොඳම දේ තමයි සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් ජන කණ්ඩායම් අතර සමගිය සහ සහෝදරත්වය ගොඩනැගීම.
කෙටියෙන් කියනවා නම් එම ජන කණ්ඩායම් තුළ ගොඩනගන, ගොඩනැගෙන අවිශ්වාසය සහ නැති කිරීම. අපි දකින දේ තමයි වර්තමාන පාලනය කරන්නේ, එක් එක් ජාතිකත්වයන් අතර තිබිය යුතු අවම විශ්වාසය සහ එකිනෙකා කෙරෙහි තිබිය යුතු ගරුත්වය සැලකිය යුතු මට්ටමකින් විනාශවන ආකාරයට කටයුතු කිරීම. එම තත්වය රට පුරාමත් විශේෂයෙන් යුද්ධයෙන් පස්සේ උතුරු පළාතේ අවුරුදු හතරකට පස්සෙත් දක්නට ලැබීම.
මේ රටේ ජනතාව වගේම මාධ්‍යවේදීන් ලෙස ඔබත් දන්න දේ තමයි උතුරේ පවතින්නේ අර්ධ හමුදා පාලනයක්. උතුරට පත්කරලා තිබෙන ආණ්ඩුකාරවරයාත් හිටපු හමුදා ප‍්‍රධානියෙක්. ඒ වගේම උතුරේ සියලූම කටයුතු පාලනය කරන්නේ හමුදාවේ මැදිහත්වීමෙන්. පාසැලක නාට්‍ය උත්සවයක් පවත්වන්න, නිවාසාන්තර කී‍්‍රඩා උත්සවයක් පවත්වන්න, පාසැලකට පොත් කට්ටකලයක් ලබා දෙන්න පවා ආසන්න හමුදා කඳවුරෙන් අවසර ගන්න වන තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා.
ඒ වගේම තමයි රටේ විශාල වශයෙන් සාකච්ඡුා කෙරෙන සාමාන්‍ය ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම පිළිබඳ ප‍්‍රශ්නය. ජන ජීවිතයේ සෑම දෙයකටම හමුදාව මැදිහත් කිරීම උතුරු පළාත තුළ බරපතල ප‍්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. එය පසුගිය වසර හතරක කාලය තුළත් අදටත් එසේම පවතින ප‍්‍රශ්නයක්.
ඒ වගේම උතුරු පළාත තුළ බිය හා සැකය ප‍්‍රශ්නය. ඕනම කෙනෙක් ඕනම මොහොතක අත්අඩංගුවට පත් වෙන්න පුළුවන්. පසුගිය කාලයේ දේශපාලන කි‍්‍රයාකාරිකයින් පවා අත්අඩංගුවට පත්කළා. අතුරුදහන් කළා. ඒවගේම අපි දන්නේ නැති සාමාන්‍ය තරුණ පිරිස්වලට ඒ දේවල් වෙලා තිබෙනවා.
ඒ වගේම යුද්ධය තුළ උතුරු පළාතේ අත්අඩංගුවට පත් තරුණ තරුණියන් අවුරුදු පහකට පස්සෙත් ආණ්ඩුව ඒ අයගේ නම්, රඳවා සිටින තැන් හෙළිදරව් කරලා නැහැ. මේ කාරණාවලට විරෝධය පා විවිධ අවස්ථාවලදී අපත් වෙනත් සංවිධාන විසිනුත් ජනතාව දැනුවත් කිරීම්, උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ගවලට පවා ගොස් තිබෙනවා.
යුද්ධයකින් විනාශයට පත් ප‍්‍රදේශයක ජනතාව නගා සිටුවීමට තිබෙන වගකීම ප‍්‍රධාන වශයෙන් තිබෙන්නේ ආණ්ඩුවට. අනෙකුත් සමාජ සංවිධාන, පුද්ගලයින්ටත් මේ වගකීම තිබෙනවා. බරපතල කාරණය වන්නේ වැඩිම අසාධාරණයන් ප‍්‍රමාණය සිදුකරන්නේ එසේ සිදු නොකළයුතු ආණ්ඩුවෙන් වීම. උදාහරණයක් ගත්තොත් යුද්ධය පැවති කාලයේ උතුරේ පාසැල් විනාශ වුණා, හෝ විනාශ කළා.
උතුරු පළාතේ විශේෂයෙන් කිළිනොච්චිය ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසැල්වල විදුලිය විසන්ධිකරලා තිබෙන්නේ. විදුලි බිල් නොගෙවීම නිසා. කිළිනොච්චිය කලාපයේ පාසැල් 52ක් තිබෙනවා. මේ පාසැල්වලින් වැඩි ප‍්‍රමාණයකට විදුලිය නැහැ. සමහර පාසැල්වල විදුලිය ලබාගෙන තිබෙන්නේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අතින් මුදල් ගෙවලා. නම සඳහන් කරන්න බැරි කිලිනොච්චිය නගරයේ ප‍්‍රධාන පාසැලකට විදුලිය ලබාගෙන තිබෙන්නේ රුපියල් අසූහයදාහක මුදලක් ගුරුවරුන්ගෙන් එකතු කර විදුලි බිල ගෙවීමෙන්.
දැන් අපි දකින දේ තමයි ආණ්ඩුව පොදුවේ අධ්‍යාපනයට වෙන් වූ මුදල් කපනවා. මේ රටේ ශිෂ්‍යයෝ විශ්ව විද්‍යාල ආචාර්යවරු සාකච්ඡා කරන ප‍්‍රධාන ප‍්‍රශ්නයක්. නමුත් යුද්ධයෙන් පීඩාවට පත් වෙච්ච, අති විශාල මිනිසුන් ප‍්‍රමාණයක් ඝාතනය වෙච්ච කිලිනොච්චි ප‍්‍රදේශයේ දරුවන්ට මේ රුපියල් 30,000 - 40,000 විදුලි බිල ගෙවාගන්න බැරි වුණා කියලා ඒ පාසල් වල, ගුරුවරුන්ගේ නිල නිවාසවල ලයිට් කැපුවට පස්සේ ඒ දරුවන් දැන් ඉන්න කබලෙනුත් ලිපට වැටෙනවා.
හැබැයි මේක මේ වෙන්නේ ජනාධිපතිවරයාගේ පුත්තු ලයිට් දාගෙන රගර් ගහන, ලයිට් දාගෙන රේස් පදින වටපිටාවක. මේ විදුලිය කප්පාදුව රටේ හැම තැනම වෙන දෙයක් වුණත් මේක කිලිනොච්චියේ යාපනයේ සිද්ධ වෙනකොට ඒක ජාතිවාදී අර්ථයෙන් විග‍්‍රහ කරන්න අදාළ දෙමළ ජාතිවාදී බලවේගත් ඇති තරම් ඉන්නවා වගේම ඒ ජනතාවටත් ඒක දැනෙනවා.
අපි දකින දෙවනි කාරනය තමයි උතුරේ දැවැන්ත සමාජ පාදඩකරණයක් සිද්ධ වෙමින් පවතිනවා. කොළඹ ප‍්‍රදේශයෙත් ලංකාවේ හැම තැනකමත් මේක සිද්ධ වෙනවා. ආණ්ඩුව සංචාරක කර්මාන්තය ආක එකට ගැනීමත් එක්ක සමාජ පාදඩ කරනය තමයි වෙන්නේ.
නමුත් උතුර තුළ ඉතා වේගයෙන්, ඉතා වුවමනාවෙන් සමහර රාජ්‍ය අංශවල දැනුවත් භාවය ඇතුළේ ක‍්‍රියාත්මක වෙනවා. මීට කලිනුත් අපි හෙළිදරව් කරලා තිබෙනවා පාසල් ක‍්‍රීඩාංගණවල පවත්වන සංගීත සංදර්ශනවලදී ඒ ක‍්‍රීඩංගණ ඇතුළේ මත්පැන් ශාලා පිහිටුවනවා.
ලංකාවේ අනෙක් ප‍්‍රදේශවල සංගීත සංදර්ශන පවත්වද්දි ඇතුළේ මත් පැන් ශාලා පිහිටුවන්න බැහැ. එහෙම පැවැත්වෙන සංගීත සංදර්ශන ඇතුළේ පාසල් ක‍්‍රීඩංගණවල මත්පැන් ශාලා පිහිටවපු අවස්ථා අපි දැක්කා. නිල් චිත‍්‍රපට ව්‍යාප්ත කරනවා, මත් පැන් ශාලා විශාල වශයෙන් ව්‍යාප්ත කරනවා. ගණිකා ව්‍යාපාර විශාල වශයෙන් ව්‍යාප්ත කරනවා. ඒ නිසා අපි දකින දේ තමයි උතුරේ තරුණ ප‍්‍රජාව ඉලක්ක කරගත් දැවැන්ත පාදඩකරණයක් ක‍්‍රියාත්මක වෙනවා.
අපි වගකීමෙන් කියනවා රජයේ සමහර ආරක්‍ෂක අංශවල පුද්ගලයන් රජයේ සමහර නිලධාරීන් නිශ්චිත වශයෙන් ප‍්‍රකාශ කරලා තිබුණා දෙමල තරුණයන් දේශපාලනයෙන් ගලවා ගත හැකි එක් ක‍්‍රමයක් තමයි ඔවුන් මේවාට යොමු කිරීම කියලා.
මොකද පුනරුත්තාපන කඳවුරුවල නිල් චිත‍්‍රපට සිය ගණනින් බෙදලා ඒ පුනරුත්තාපන කඳවුරු පිහිටුවා තිබුණු සමහර ප‍්‍රදේශවල ගම්වාසීන්ට පාරේ යන්න බැරි තත්ත්වයක් වවුනියා ප‍්‍රදේශයේ ඇති වුණා. ඒ නිසා සමහර පුනරුත්ථාපන කඳවුරු අකුළාගෙන යන්න වුණා ගම්වාසීන්ගේ විරෝධය නිසා. අප නිශ්චිත වශයෙන් දන්න ඒවා තිබුණා. කලින් ඒක කළේ පුනරුත්තාපන කඳවුරුවල දැන් ඒක මුළු උතුරු සමාජයටම කරනවා. අපි දකින්නේ මේක බරපතළ තත්ත්වයක්.
ඒ වගේම උතුරු ප‍්‍රදේශයේ සිංහල දෙමළ මුස්ලිම් බේදයකින් තොරව විශාල වශයෙන් ඕස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල්වලට සංක‍්‍රමණය වෙනවා. විශාල වශයෙන් අපිට පේන්න තිබෙනවා මෙයින් වැඩි පිරිසක් යුද්ධයෙන් පීඩාවට පත් වූ විරැකියාවෙන් පෙළන අපේක්‍ෂාභංගත්වයට පත් වූ තරුණ තරුණියන් සැලකිය යුතු වශයෙන් ඉන්නවා කියලා.
ඒ නිසා අපි දකිනවා මේ තත්ත්වය අපේ රටේ විශේෂයෙන්ම යුද්ධයෙන් පීඩාවට පත් ජන කොටස් අතර අළුත් වටයකින් ජාතිවාදී හැඟීම් ඇති වීමට මේවා හැම එකක්ම හේතු වෙනවා කියලා. ඒ වගේම මේ ප‍්‍රශ්න සැලකිය යුතු ලෙස විසඳීමට සහ අවම කිරීමට පුළුවන්කම තිබෙනවා රටේ දේශපාලන අධිකාරීත්වයට අවශ්‍ය නම්. අපි දකින්නේ මේ එක ජාතිවාදයක් තනියෙන් පවතින්නේ නැහැ.
මොකද සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදය අපි දකින්නේ තුන් නිවුන් සහොදරයෝ වගේ. ඒ තුන් දෙනාට තුන් දෙනා අවශ්‍යයයි. සිංහල ජාතිවාදී ප‍්‍රවණතා මෙහේ ඇති වෙනකොට දෙමළ ජනයා සිටින ප‍්‍රදේශවල දෙමළ ජාතිවාදී ප‍්‍රවණතා වර්ධනය වෙනවා. ඒ වගේමයි මුස්ලිම් ජාතිවාදී ප‍්‍රවණතා වර්ධනය වෙන්නෙත්.
අද ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාර ව්‍යාපෘතිවලට, ආණ්ඩුවේ බලය රැක ගැනීමේ ව්‍යාපෘතිවල විශ්වාසය තබල තියෙන්නේ ජාතිවාදය මත. ඒ නිසා ආණ්ඩුවට අද ප‍්‍රභාකරන් කෙනෙක් අවශ්‍යයි. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයටත් ඒ වර්ගයේ සිංහල කෙනෙක් අවශ්‍යයි.
ඉතින් මේ තරඟකාරී ලෙස වර්ධනය වන ජාතිවාදී ප‍්‍රවණතාවලින් වන දේ තමයි අපිට කලින් පරම්පරාවත් යුද්ධයෙන් විනාශ වුණා වගේ අනාගතයේදීත් යළිත් ජාතිවාදී ප‍්‍රවණතා ඇතිවීමේ ඉඩ කඩක් තිබෙනවා. ඒ නිසා තමයි අපි දකින්නේ සමාජවාදී තරුණ සංගමය විදියට රටේ පුරවැසියන් විදියට, තරුණ තරුණියන් විදියට අපිට විශාල වගකීමක් තිබෙනවා මේ තත්ත්වයෙන් රටේ ජනතාව මුදවා ගන්න.
මේ විශේෂ තත්ත්වය නිසාම මෙවර සහෝදරත්වයේ දිනය පදනම්කරගෙන කරන වැඩසටහන්වලදී අපි ආණ්ඩුවට බලකර සිටිනවා ප‍්‍රධාන කාරණ කිහිපයක් සම්බන්ධව. ඉන් කිහිපයක්
විශේෂයෙන් උතුරු පළාතේ අර්ධ හමුදා පාලනය අවසන් කිරීම. එහි සිවිල් පාලනය ස්ථාපිත කරන්න කියන ඉල්ලීම. මොකද ප‍්‍රශ්න රාශියක මුල මෙතන තිබෙන්නේ. අපේ වැඩසටහන් තුළ උතුරේ පාසල්වලට පරිගණක, පොත්පත් අදිය ප‍්‍රධානය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ පාසැලක නමවත් හෙළිදරව් කරන්න බැහැ. එහෙම වුණොත් අපිට ඒ වැඩේ නවත්වන්න සිදුවෙනවා.
අද කිළිනොච්චියේ තිබෙන තත්ත්වය ඒක. යාපනයේ තත්ත්වයත් එසේමයි. එම ප‍්‍රදේශයේ පාසලකට අඩුපාඩුවක් ඉල්ලන්න බැහැ. රජයෙන් පමණයි ඉල්ලන්න පුළුවන්. මේක තමයි අර්ධ හමුදා පාලනයේ ප‍්‍රතිඵල.
ඒ වගේම තමයි සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා. මේ අයගෙන් අති බහුතරය තරුණ ප‍්‍රජාව. ඒ වගේම යුද්ධයෙන් මියගිය අයගේ පවල්වලට තිබෙන දැවෙන ප‍්‍රශ්නය තමයි ඔවුන්ට ජීවත්වෙන්න විදියක් නොමැතිවීම. ඔවුන්ට වන්දි ලබාදෙන්න කියන එක. ඔවුන්ගේ නිවාස ඉදිකර දෙන්න කියන එක.
ඒ වගේම තාරුණ්‍යයට අදාළව උතුරු පළාත තුළ රාජ්‍ය විශ්ව සරසවියක් ආරම්භ කිරීම. එය එස්.බී. දිසානායක ඇමතිවරයාගේ උපාධි කඩ නෙවෙයි. ඒ ප‍්‍රදේශයේ දරුවන්ටත් අනෙකුත් ප‍්‍රදේශවල දරුවන්ටත් පොදුවේ උසස් අධ්‍යාපනය ලැබීමට ඉඩකඩ සකස්කර දිය යුතුයි.
ඒ වගේම රාජ්‍ය වෘත්තීය තාක්‍ෂණ සරසවියක් ආරම්භ කිරීමත් කළ යුතුයි. ඒ වගේම රාජ්‍ය අනුග‍්‍රහය සහ මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුකරන ජාතිවාදී ආගම්වාදී කි‍්‍රයා නතර කිරීමට ආණ්ඩුව පියවර ගත යුතුයි.
ඉදිරියේදී පැවැත්වෙන සහෝදරත්වයේ දිනයට අදාළ වැඩසටහන් පිළිබඳව කෙටියෙන් ඉදිරිපත් කළොත්, 83 ජාතිවාදී කි‍්‍රයාවන්ගේ සංකේතයක් බවට පත්වූ කළු ජූලියට අදාලව ජූලි 23 හා 24 වැනිදා රට පුරාම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන්න.
ඒ වගේම, ජූලි 26 හා 29 දෙදින කිලිනොච්චිය හා වව්නියාව ප‍්‍රදේශ දෙකේම පාසැල් ගණනාවකට පාසැල් දරුවන්ට අවශ්‍ය පොත්පත්, ජල පහසුකම් වැනි දේ ලබාදෙන්න කටයුතු සකස් කර තිබෙනවා.
මෙහි අරමුණ සරල සුභසාධනය නොව සිංහල, දෙමල, මුස්ලිම් ජනතාව අතර මිත‍්‍රත්වය ගොඩනැගීම. ජූලි 27 දින වව්නියාව නගරයේදී සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ දෙනාගේ සහභාගිත්වයේන කී‍්‍රඩා තරඟයක් පවත්වනවා.
ජූලි මස 28 දින සහෝදරත්වයේ රඟ මඬල නමින් කලා සංස්කෘතික වැඩසටහනක් වව්නියාවේදී කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ජූලි 28 දින වව්නියාව දිස්ති‍්‍රක්කයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා මේ ජාතිවාදයට ආගම්වාදයට එරෙහිව.
විශේෂයෙන් උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන නිසා ජාතිවාදය ප‍්‍රධාන සාධකයක් වීම වැළැක්වීම මෙහි මූලික අරමුණයි. ඒ වගේම ජූලි මස 29 වනදා සහෝදරත්වයේ ජනතා රැළිය නමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් රැළියක් පවත්වනවා.
ඉදිරි සතියේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික ප‍්‍රශ්නයට විසඳුම් යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. එම යෝජනා මාලාව උතුරේ ජනතාවට ඉදිරිපත් කිරීම මෙහිදී සිදුකෙරෙනවා. අගෝස්තු මාසයේ මුල් සතිය තුළ දිවයිනේ අනෙකුත් දිස්ති‍්‍රක්ක වලත් මෙලෙස ජාතිවාදයට එරෙහිව සහෝදරත්වයේ දිනයේ වැඩසටහන් කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
සමාජවාදී තරුණ සංගමය
Post a Comment