
කර්මාන්ත ශාලාවකින් පිටකරන අපද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ ජලය අපිරිසිදු වන බව පවසා ජනයා විරෝධතා පවත්වද්දී අදාළ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට කළ ඉල්ලීම තමා විසින් ඉවත දැමූ බවට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශයක් කර ඇති බවත්, ඒ තුළින් තමාගේ නමට විශාල කැළැලක් ඇතිවී ඇති බවත් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා පවසා ඇත.
එකී පොලිස් නිලධාරියාගේ අදාළ ප්‍රකාශය අන්තර්ජාලයේ දකින්නට ලැබෙන බවත්, විශේෂයෙන්ම යූ ටියුබ් මාධ්‍යය තුළ එය දකින්නට ඇති බව තමාට දැනගන්නට ලැබුණු බවත්, එවැනි සිදුවීම් මෙම අපරාධ සිදුවීම පිළිබඳවන ඉදිරි පරීක්ෂණ කටයුතුවලට බාධාවක් බව මහේස්ත්‍රාත්වරයා පැවසීය.
ඒ පසුගියදා වැලිවේරිය-රතුපස්වල,බැලුම්මහර අවට ප්‍රදේශවල ජනයා විසින් පසුගියදා කළ විරෝධය අතරවාරයේ ආරක්ෂක අංශ විසින් කරනු ලැබූ වෙඩිතැබීම් වලින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පිරිසක් තුවාල ලැබීමේ සිදුවීමට අදාළව සාක්ෂි සටහන් කර ගැනීමේ අවස්ථාවේදීය.
මෙම අවස්ථාවේදී අදාළ ගැටුමේදී ජීවිතක්ෂයට පත්වූ අකිල දිනේෂ් යන අයගේ මෑණියන් වන ප්‍රියංගික ශිරෝමණී ජයවර්ධන මහත්මිය,පවුලේ ඥාතීන් බව කියන අනුරුද්ධිකා කුමුදුනී ජයවර්ධන,ඇන්ටනී ප්‍රැන්සිස් පෙරේරා ආදී පිරිස් අද අධිකරණය හමුවේ සාක්ෂි දැක්වූහ.
මෙම අවස්ථාවේදී අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ජයලත් බලගල්ල මහතා සිද්ධිය සම්බන්ධයෙන් තම අත්දැකීම් පුළුල් ලෙස අධිකරණය හමුවේ පෙන්වාදී ඇත.
මහේස්ත්‍රාත්වරයා විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඩී.එල්.ආර් රණවීර මහතා අධිකරණය හමුවේ පවසා ඇත්තේ මේවන විට සිදුවීමට අදාළ පරීක්ෂණ විධිමත් ලෙස ක්‍රියාත්මක බවයි.
සිවිල් පුද්ගලයින් 100 දෙනකුගෙනුත්,ආරක්ෂක අංශවල සේවය කරන්නන් 100 දෙනෙකුගෙනුත් මේවන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්,ගිනි අවි 93 ක් අපරාධ කොට්ඨාසය භාරයට ගෙන ඇති බවත් ඔහු කියා සිටියේය.
එසේම වෙඩි තැබුවේ කවුරුන්ද යන්න පිළිබඳ සොයා බැලීමට මේවන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ත් රණවීර මහතා අධිකරණයට දන්වා සිටියේය.
එසේ වුවද කර්මාන්ත ශලාව වසාදමන ලෙස කළ ඉල්ලීමක් ඉවතදැමූ බවට තමා පිළිබඳ අසත්‍ය ප්‍රකාශයක් කළ පොලිස් නිලධාරියා හඳුනාගෙන ඒ පිළිබඳවද අධිකරණයට කරුණු ඉදිරිපත් කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
වැඩිදුර සාක්ෂි විමසීම මේ මස 22 වන දිනට කල්තැබුණි.
Post a Comment